අලුත්ගම ගැටුමට පොලිසිය අනුබල දීලා

'පොලිසියේ නීති විරෝධී පියවර වෙනස් කිරීමට ශක්තිය ඇති එකම පුද්ගලයා රජයේ නීතිපතිවරයා'
විශේෂයෙන්ම ඒ අවස්ථාවේ අලුත්ගම පැවති වාතාවරණය අනුව, බොදු බල සේනා සංවිධානයේද සහභාගිත්වයෙන් අලුත්ගම පැවැත්වුණු රැලිය සහ පෙළපාලියට අනුමැතිය පළ කිරීමෙන් පොලිසිය වැළකිය යුතුව තිබුණු බවද නීතිවේදී උපුල් ජයසූරිය, සංදේශයේ සරෝජ් පතිරණ කළ විමසීමකදී කියා සිටියේය.
"මොකද නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහත්තය කොළඹ ඉඳල ඇවිල්ල ඒ රැස්වීම පැවැත්වීමට සම්පූර්ණ රුකුල් සහ අනුබල දුන්නා," යනුවෙන්ද සඳහන් කළේය.

'නීති විරෝධීයි'

එබැවින් අලුත්ගම රැලිය පවත්වා කිසියම් "අයුතු ලාභයක් ලබා ගැනීමට" ඉහල නිලධාරීන් උත්සාහ දරා තිබෙන බව පෙනී යන බවත් ඔහු සඳහන් කළේය.

'අනුර සේනානායක මහත්තය කොළඹ ඉඳල ඇවිල්ල ඒ රැස්වීම පැවැත්වීමට සම්පූර්ණ රුකුල් සහ අනුබල දුන්නා'
ශ්‍රී ලංකාවේ ජනවර්ග අතර සංහිඳියාව විනාශ කිරීමට තුඩු දෙන සිදුවීම් සම්බන්ධයෙන් පියවර ගන්නා මෙන් නීතිඥ සංගමය කිහිප වතාවක්ම නීතිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව පවසන නීතිවේදී උපුල් ජයසූරිය, ඔහු එසේ පියවර ගත්තේ නම් අලුත්ගම සහ බේරුවල හටගත් ගැටුම් වලක්වා ගත හැකිව තිබුණු බවද සංදේශයට කියා සිටියේය.
බොදු බල සේනා සංවිධානය හෝ එහි ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ගැටුම්වලට අනුබල දෙන ප්‍රකාශ කළ බවට සාක්ෂි නැතැයි පොලිසිය කරන ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන නීතිඥ සංගමයේ සභාපතිවරයා, ඒ සඳහා ඕනෑ තරම් සාක්ෂි මාධ්‍යවල සහ යූටියුබ් වැනි මාධ්‍ය ජාලවල සටහන්ව තිබෙන බවද කියා සිටියේය.
සාක්ෂි නැති බවට පොලිසිය කරන ප්‍රකාශය නීති විරෝධී බවද ඔහු කියා සිටියේය.
"පොලිසියේ ඒ නීති විරෝධී පියවර වෙනස් කිරීම සඳහා ශක්තිය ඇති එකම පුද්ගලයා තමයි රජයේ නීතිපතිවරයා. අපි බලාපොරොත්තු වෙනවා එතුමා අත් අඩංගුවට ගත යුතු අය අත් අඩංගුවට ගන්න කියල පොලිසියට නියෝග කරාවි කියල," යනුවෙන්ද ඔහු පැවසීය.

මරණ පරීක්ෂණ 'සැකයි'

මෙම චෝදනා සම්බන්ධයෙන් විමසීම පිණිස පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ඇමතීමට සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.
සිය සංචාරයේදී විවේකාරාමයේ විහාරස්ථානාධිපති බඩල්කුඹුරේ ආරියශාන්ත හිමියන්ද හමු වී සාකච්ඡා පැවැත්වූ බව පවසන නීතිඥ සංගමයේ සභාපතිවරයා, විහාරස්ථානය අවට කිසිදු සිංහල හෝ මුස්ලිම් පවුලකට හානියක් සිදු වීමට ඉඩ නොදුන් බව එහිමියන් සනහන් කළ බවද කියා සිටියේය.
කෙසේ නමුත් මුල සිටම තත්වය පාලනය කිරීමට පොලිසිය උත්සුක නොවූ බවට එහිමියන් පැමිණිලි කොට තිබේ.
මේ අතර ගැටුමේදී මිය ගිය පුද්ගලයන්ගේ මරණ පරීක්ෂණ වාර්තා පිළිබඳව බරපතල සැක පවතින බවට ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය කරන ප්‍රකාශය පිළිබඳව නීතිවේදීන් විසින් ඉදිරි දින කිහිපයේදී පියවර ගැනීමට නියමිතව තිබේ.
ඔවුන්ගේ මලසිරුරු යලි ගොඩ ගන්නා මෙන් අධිකරණයෙන් ඉල්ලා සිටීම එවැනි එක් පියවරක් විය හැකි බව නීතිඥ ජයසූරිය සංදේශය කළ විමසීමකදී පිළිගත්තේය.
Share this post :

Post a Comment

අළුත් පුවත්

 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. Sri Lanka Gossip News - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger